රණ්බණ්ඩා සෙනවිරත්න


සිංහල ගීත කලාවේ ශබ්ද රසය හා අර්ථ රසය යන දෙකම කැටි වුණ ගීත බොහොමයක් තිබෙන බව අවිවාදාත්මකයි. ගීතයක ශබ්ද රසය ඔප්නැංවෙන්නේ සංගීතවේදියාගේ ප්‍රතිභාවේ මහිමයෙන්. එලෙසම අර්ථ රසය මතුවෙන්නේ පදරචකයාගේ බස හැසිරවීමේ හැකියාවෙන් හා ගීතයට පදනම් වූ නිමිත්තෙන්. අධිනීතීඥ රණ්බන්ඩා සෙනවිරත්න මහතා නූතනයේ බිහිවූ පදරචකයන් අතර ප්‍රමුඛ පෙලේ වැජඹෙන්නක්. ඔහුගේ සුභාවිත පන්හි‍ඳෙන් බිහිවුණ පදවැල් මගින් බොහෝ දෙනෙක් ඔහු හඳුනනවාට සැක නැහැ. රණ්බණ්ඩා සෙනවිරත්නයන් යනු “බොහෝ ගීත” ලියූ පදරචකයන් ගණයට නොවැටෙන්නෙක්. නමුත් ඔහු අතින් ලියැවුණ ස්වල්පප්‍රමාණිත ගී හා කාව්‍ය සංග්‍රහයන් ජන සම්මානයට මෙන්ම විචාරක සම්මානයටද පාත්‍ර වූ බව නොකිව මනායි. එතුමා ගේ බොහෝ නිර්මාණ සිංහල සංගීතයේ අදත් ඉහලින්ම වැජඹෙන බව නොරහසක්.
රණ්බන්ඩා සෙනවිරත්නයන් ජන්ම ලාභය ලැබුවේ පොළොවෙ පය ගසාගෙන සිටින බොහෝ කලාකරුවන් ජන්ම ලාභය ලද රජරටින්. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලයට නුදුරු මරදන්කල්ල ගමේ. රණ්බන්ඩා මහත්තයගෙ වචනෙන්ම කියනවනම් "ගමේ බයියෙක්". රණ්බන්ඩා මහත්තයගෙ පවුලෙ සහෝදර සහෝදරියො 14ක්, රණ්බණ්ඩා මහත්තයත් ඇතුලුව. ගමේ ගතකල ක‍ටුක ජීවන රටාව ඔහුගේ ගීත වලින් මනාව ඔප්නැංවී තිබෙන බව පැහැදිලි සත්‍යයක්. බොහෝ ගී ලියැවුණේ ඔහුගේ සත්‍ය ජීවන අත්දැකීම් ඇසුරෙන් වග වරක් එතුමා පුවත්පත් සාකච්ඡාවකට කියා තිබුණා.
මේ එයට දිය හැකි හොඳ උදාහරණයක්..
පබළු නගා හෙවත් සුමනා රණ්බණ්ඩාගේ ඇවැස්ස නෑනා වූ තැනැත්තියයි. රණ්බණ්ඩා පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ගතකරන සමයේ සුමනා මැලේරියාව හෝ කහ උණ (නිවැරදිව මතක නැත) සෑදී මියැදිණි. මෙපුවත නිවසේ කිසිවෙකු රණ්බණ්ඩාට සැල නොකළේ ඔහු ඒ වනවිට විභාග කටයුතු වල නියැලී සිටි නිසාවෙනි. විභාගය අවසන් කොට සුමනාට තෑගිත් සමග ගමට පැමිණි රණ්බණ්ඩා ගෙදරට ගොඩවැදී එසැණින්ම සුමනා සොයා යන්නේ ඇයට ගෙනා තෑගි බෝගත් සමගයි. මග සලකුණු අනුව යම් කිසි නරක දෙයක් සිදුවී ඇති බව ඔහුට වැටහෙන්නට ඇත. මේ අත්දැකීම රණ්බණ්ඩා අතින් කවියට නැගී, පසුව ගුණදාස කපුගේ මහතාගේ සංගීතයෙන් හා ගායනයෙන් ලාංකිකයින් සියලු දෙනාට මෙපරිද්දෙන් දැන ගැනීමට ලැබිණි...

පබලු නගේ නාමල් තිලකේ ..
පුංචි ඔසරි මැණිකේ...
සුමනෝ....
උඹ ඇයි නැත්තේ...
වැවේ දියේ ඇති නිකින් නිණිල්ලේ..
අඩහඳ යායට කෙකෙටිය පිපිලා..
වැව් කන්දේ බෝගස් හෙවනේ...
මම අද තනියම ඔළිඳ ගනිනවා
වෙනදා වාගෙම තල මල පිපිලා
තිබුණට ඇල ළඟ වත්තේ
සුමනෝ..
උඹ ඇයි නැත්තේ...
මළ හිරු එළියෙන් කොක්කු ගියාදෝ..
මිහින්තලා ගල පැත්තේ …..
පිරුවට ඇඳ පෙට්ටියක තියාලා..
පහන් දෙකක එලි මැද්දේ …..
මදටිය වැටෙද්දි හඳ කැලතෙන ඇල
ඒදන්ඩේ ඉස්මත්තේ …
සුමනෝ.....
උඹ ඇයි නැත්තේ...
සුමනෝ.....
උඹ ඇයි නැත්තේ...
තනු හා හඬ- ගුණදාස කපුගේ (කපුගේ මහතා මේ ගීයට පාදක රිද්මය (base rhythm) ලෙස යොදාගෙන ඇත්තේ මළබෙර වාදනයක තනුවකි)

from http://www.mefeedia.com by වැම්පයර්