Tuesday, November 23, 2010

නන්නත්තාරික ජීවිතය ..........: නන්නත්තාරික ජීවිතය ..........: තොටමුණක දියබත් කවිය


වාරකන් සිත් වෙරළ මත මෘදුව ඇවිද යන
සිප්පි බෙලි කවඩි මුතු පයින් මැඩ
මහා රළ පෙළ නැගී පිය ලකුණු මැකී ගිය
නන්නාදුනන කදුලු වියැලුණිය දෙනෙත් අග

ප්ලාස්ටික් හිස් බදුන් ගොඩගැහෙන ලෝකයක
අරුත්බර හැගුම් සිතුවිලි වලට ඉඩක් නැත
අරමුණක් නැතිව පාවී ඇදෙන මිනිස්වග
අකීකරු සුළගකට අවුල් වූ සිතුවිලිය

ඈත තොටමුණ වෙතට ඇදී යන නෞකාව
මගතොටේ මුණගැහෙන සල්ලාල ලිය බදුය
සලුබරණ පළදවා විදුලි බුබුලින් සදා
මුසාවක පැටලි ගිය අපේ ජීවිත වැනිය

පීඩිතව හෙම්බත්ව ඇවිලෙනා ලෝකයක
දහදියෙන් තෙතබරිත දුම්රියක, මැදිරියෙක
ගී ගයන පද පැටලි අද කොවුල් කූජනය
මිහිරි නැත කියන්නට මගේ සිත අවසගය

සෙලියුලර් තෙලබනුව සවන රදවා සිටින
පෙම්වතුන් යුවලකගේ රැහැන් තොර ආදරය
පෙර කලෙක කවි ලියූ පැරණි පෙම්වතා නොව
තෙවැනි සිල්පද බිදින පෙම්වතිය මෙදා ඇත

කෙන්ටර්කි කුකුලු මස් රස බලන යෞවනය
යුද බිමෙක තුරුණු අතපය සිදී ඇද වැටෙන
නැති කමට ඇග මසද දන් දෙමින මල්වියට
වෙස්සන්තරව නොව ජීවිතේ යලි පතන

ඈත ගිනි කාෂ්ඨක හේන් යායෙක වැවුන
බඩඉරිගු ගස් අතර හිස් කුසින් සැරිසරන
කේඩෑරි මිනිස්සුන් මට, මගේ ඉගෙනුමට
ගණින්නට බැරි තරම් කාසි දන්දී තිබිණ

බොහෝ ණය වී සිටිමි මම මගේ මව්බිමට
ගෙවන්නට හැකිවේද අතැර යන්නට ප්‍රථම
පතා යහපත් හෙටක් අනාගත පරපුරට
වෙමස් කර නික්ම යාමට හැකිද? සිතේ මට..........

http://kapilamgamage.blogspot.com by Kapila M.Gamage

No comments:

Post a Comment