Friday, November 19, 2010

~ කන උන්දෑ ~සාගර පළන්සූරිය by Seegiri Community


~ කන උන්දෑ ~
මා දිනූ ගමේ පොඩි කාලේ වෙසෙන කල
මතකයි හොඳට නා ගහ මුල තිබුණු පැල
කවුරුත් දන්න අඳුනන යක්ගැහැලෙ හෙළ
කන උන්දෑය විසුවේ මේ කුටිය තුළ

ඇඟේ ඇස් දෙකම අන්ධය එනමුත් පුදුම
අඳුනන්නීය ඈ කොස්විනි මුළු ගමම
දුප්පත් නමුත් ඈ කවදාවත් එහෙම
පහතට නොබැස්සා හිඟමනකට තරම

හරකා සතා මගදී හමුවන ඇයට
කාගෙද කියා කිව හැකි නිවරදි ලෙසට
කොපමණ දුරට ඈ හුරුපුරුදු ද ගමට
බල්ලෙක් පවා නුබුරයි කිසි විට ඇයට

ඇය ආ වෙලාවට අප ගෙදරට දොරට
ලොකු සතුටක්ය පොඩි දරුවන් වන අපට
ඇය ඇතුළත් වුනේ අප කුළුපග බවට
කොහොමද කියා මට පැහැදිලි නැත දැනට

ඈ හොඳ හොඳ කතා කවී සීපද දන්නී
ඒවා රසට පැය ගණනක් පවසන්නී
අපගේ විහිළු වෙනසක් නොතකන්නී
කන උන්දෑ අපේ මිතුරිය වී උන්නී

කලකට පසුව ඇය විසූ පැල්පත පැවතී
නාගහ මුලට මම ගොස් බැලුවෙමි නැවතී
පැල තිබූ ගෙපළ මත නා කොළ ගොඩ මහතී
ඇය මළ බව පවා දන්නෙක් ගම නොමැතී

http://www.seegiri.com - by Seegiri Community
~සාගර පළන්සූරිය

No comments:

Post a Comment