හිත ගිය කවි
මගෙ හිත ගත් කවි මා හා එක්ව රසවිඳින්න එක්වෙන්න. lankakavi@gmail.com
Thursday, November 25, 2010
මම දෙමළ
වීරසේනගෙ වැඩ තහනමට
රෙදි මෝලේ ගිනිගහන ඉර යට
උගුර ලේ රහ වෙනකම්ම
කෑ ගගහ පිකටින් ඇවිළුව
මම දෙමළ.
වීරෙට වැඩ ලැබුනු පණිවිඩයට
"නඩේ සහෝදරයට ජයවේවා"
රජෙක් සේ උඹලා උස්සන් ගිය
මම දෙමළ.
වෙඩි තිබ්බ වැඩ වැරුමට
වෙඩි වැදුනු සිරිපාලව
අත් දෙකෙන් උස්සන්
හුස්මට දෙකට
මහ රෝහලට පියාඹපු
මම දෙමළ.
සේලයින් වැල් ඇමිණුව ඇඳ ලඟ
"නඩේ මම ණයයි පණ බේරුවට"
සිරා බදාගෙන ඇඬුව
මම දෙමළ.
රෝහලෙන් ඉල්ලූවෙ නැහැ
සිංහල ලේ
ගැබ්බර කුසුමට පණ අදින.
ලියලා තිබුනෙ ඇඳ ඉහපත
"ඕ නෙගටිව්"
මට විතරක් තිබුන
මම දෙමළ.
හෑල්ලූව ලත් සැණින
"පුතේ උඹ අයිති නඩේ මාමට"
පොඩි එකා මගෙ අතට දුන්නට
මම දෙමළ.
වීරෙ උඹේ හඬ ඇහෙනවා
පිකටින් කරන
දෙමළු මරල හරි
සාමය ඕනැයි කියන.
සිරෝ ඉස්පිරිතාලයක් නැහැ මට
ෂෙල් වලට කුඩු වුනු
සමතලා ගල්කෑලි බිල්ඩිම මිස.
කුසුමියේ
"ඕ නෙගටිව්" ලේ
ගලනවා හතර අත
උරන්නෙත් නැහැ
වටිනකමක් දන්නැති
ගල් කාශ්ඨක පොළොවට.
සනුහරේ අමු සොහොණ ලඟ
දරු මුණුපුරන් යායට මැරුණ
පණ අදිනවා මම දැං තනියම
මම දෙමළ.
මහේෂ් මුණසිංහ 2009 මැයි
http://groups.google.com/group/votebahu/
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment